තරුත් අඬනවා

සම්මත

20140412_135711වේදිකාව මුළුමනින්ම අඳුරෙහි ගිලී ඇත. වේදනාවෙන් කෙනෙකු කෑගසන හඬක් ඇසෙයි.

තරුණයා :- හැම තැනම කළුවරයි. කළුවර හැම අනන්‍යතාවයක්ම උරාගන්නවා. හරියට කළු කුහර වගේ. කළුවර කාවවත් ප්‍රශ්ණ කරන් නෑ. ආලෝකයක් බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා. හරියට මේ දැන් මේ මොහොතෙදි වගේ. ඒත් කළුවර හරිම ධනාත්මකයි. හරියට ලස්සන කෙල්ලෙක් මුහුන ඉඹලා කනට ගහනවා වගේ. සමයි අසමසමයි. මම මේ රජයට ආසයි. කළුවරට අපේ අතීතය ප්‍රශ්න කරන්ඩ දෙන්ඩ බෑ.

අඳුරට ශාප කර කර ඉන්නවට වඩා එක පහනක් හෝ දැල්වීම යෙහෙකි.

ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නාමයෙන් මම පහනක් පත්තු කරනවා.

(වේදිකාව ආලෝකමත් වෙයි. තරුණයාගේ ගෙල කඹයකින් විශාල කළු ගලකට බැඳ ඇත.)

ඔළුවක් තියෙනවද? ෂුවර්ද? ෂුවර් නැත්තං ලඟින් ඉන්න කෙනාගේ අහන්ඩ. මට තියනවා ඔයාට. මේ Chart එකෙන් පෙන්නුම් කරනවා ලංකාවේ ඔළුවක වටිනාකම අඩුවේගෙන ගිය විදිහ ක්‍රි:ව 1500 එච්චර දුර වැඩියි.

නිදහසින් පස්සෙ ගමු. 1956, 61, 71, 77 83, 88,96,2005,2102 දී ශුන්‍ය වෙනවා. මහ බැංකුවේ වාර්ථාව,කොටස් වෙළඳපොල පිරිවැටුම, ඡන්දය ප්‍රකාශ කිරීමේ අනුපාතය, මානව හිමිකම් දර්ශකය අනුව යමින් මා විසින් සකස් කරන ලදී.

කාගෙ හයියකටද එහෙම කරේ. තමුසෙ කියන්නෙ ලංකාවෙ ඉන්නෙ මෝඩයො කියලද? හා.?

ඔය කියන්නෙ බුද්ධිය ගැන ඒක බුද්ධිමය දේපල පනත යටතේ විග්‍රහ කරන්ඩ ඕන තත්වයක් මම කතාකරන්නෙ ඔළුවේ භෞතික ව්‍යුහය ගැන සරල උදාහරණයක් කියනවනං අපි කාගෙ හරි බෙල්ල කපනවා. එතකොට ඔළුව පැරෙනවා. ඒත් බුද්ධිය මැරෙන්ඩ ටික වෙලා යනවා. බුද්ධියෙයි ඔළුවෙයි වෙනස පැහැදිලියිනෙ. බොරුනං කරලා බලන්ඩ.

ඕක පාවිච්චි කරන විදිහ අනුව තමයි අපි කවුද කියන එක තීරණය වෙන්නෙ. මොලය අසීමාන්තික නිදහසකින් යුක්තව පාවිච්චි කරන්ඩ පුළුවන්.

එහා ගෙදර ඉන්න කෙල්ල එක්ක බුදිය ගන්න එහා ගෙදර ඉඳලා කඩේ ගිහිල්ලා ජනාධිපතිව මරන එකේ ඉඳලා කඩේ ගිහිල්ලා ජනාධිපතිව මරණ එක දක්වා ඕන දෙයක් හිතන්ඩ පුළුවන්. හැබැයි ඔළුව කැපිලා ගියොත් මොලය වග කියන්න හිතන එක කාටද නවත්තන්ඩ පුළුවන්. මම හිතනවා මට පුළුවන් හැම දෙයක්ම. හිතලා,හිතලා, මගේ හිත මොලයට කියනවා මුල ඉඳලා පටන් ගනිං.

1 වන ජවනිකාව.

දරු නැලවිලි ගීයක් ඇසෙයි.

පසුබිම් හඬ:- කොල්ලෙක් ඉපදිලා තියෙන්නෙ. තාත්ත වගේම ඇතිනේ.

තරුණයා වේදිකාවේ මැද බංකුවේ හිඳගෙන සිටී. ඔහුගේ අත් දෙපස තටු දෙකක් ඇත.

තරුණයා :- දයාබර අම්මෙ. මම මුල ඉඳලා පටන් ගන්ඩ යන්නෙ. කතාව අතර මඟදි මම අඬන් නැහැ. අඬන්න තිබ්බත් මම හිනාවෙනවා. අම්මා දන්නවනේ අම්මව දකින් නැතුව මම කොච්චර කල් ජීවත් වෙලා තියනවද කියලා. මම ඇඬුවද? නෑනෙ. ඒක එක අතකට හොඳයි. මොකද අම්මව දැකලා තිබ්බන මම අම්මට මෙච්චර ආදරේ කරන් නැතිවෙන්ඩ තිබ්බා. මගේ වටේ පිරිලා ඉන්න මිනිස්සු තාත්තා ගැන අහලා තිබ්බට අම්මව දැකලා තිබිලා නැහැනේ. තාත්තා මං වගේලු නේ. අම්මා. අම්මා මාව හම්බවෙන්ඩ ඉන්න කොට සුපිරි හීන මොකුත් දැක්කෙ නැත්ද? එහෙම වුනානම් මම තත්වෙකට ආපු දවසකට ඒක කියන්ඩ තිබ්බා. මම අම්මට ගොඩක් ආදරෙයි.

මීට මම. අම්මෙ කෙල ගාල ලියුම ඇලෙව්වට කමක් නෑනේ.

තරුණයා ලියුම ගලවයි.

තරුණයා :- මට කියන්ඩ දෙයක් අමතක වුනා. අම්මගේ කටහඬ තියෙන කැසට් එක දැන් පරණවෙලා. පැහැදිලි නෑ. ඒත් මට ඒකෙ තිබ්බ සුරංගනා කතාව මතකයි.

මීට නැවතත්.. මම

තරුණයා ලියුම සාක්කුවේ දමාගනී.

තරුණයා :-  මව කර උඩට ගත්ත කුමාරයා දවස් හතක් පුරා පීනලා පීනලා මව ගොඩට ගෙනාවා. අම්මව ගොඩට ගේන්ඩ පීනන්ඩ පුලුවන් වෙලා තියෙන්ඩ ඕනෙ. පීනන්ඩ මුහුදට වැටෙන්න ඕන. මුහුදට වැටෙන්ඩ නැවක යන්න ඕනෙ. නැවක යන්ඩ අම්ම කෙනෙක් ඉන්ඩ ඕනෙ. හිතලම පිස්සු වගේ.

රතිඤ්ඤා පිපිරෙන හඬක් ඇසේ.

තරුණයා :- අම්මෙ තවටිකකින් කන්ඩ හම්බ වෙනවා.

කළු ඇඳගත් මිනිසකු එයි. ඔහු තරුණයා පිටුපසට පැමිණ හබල් ගාන ආකාරයක් රඟදක්වයි.

තරුණයා :- Thank you අයියේ.

අම්මෙ එන්ඩ කන්ඩ. තාත්තා? තාත්තා එයි. අම්මා ඉඳගන්ඩකෝ. මේ කුකුල් මසුත් තියෙනවා.

අදනං තියෙන්ඩ ඇත්තෙ මුස්ලිම් මගුල් ගෙයක්. සිංහල එකක් තිබ්බනං කට්ටක්වත් හම්බෙන් නෑ. ඔව්. ඉස්සර අම්මේ මේ Wedding hall එක ළඟ කන්ඩ ගොඩක් කොල්ලො හිටියා.

දැන් මම විතරයි ඉන්නෙ. ටිකක් රිදෙනවා තමයි. ඒත් ඒ අයියා හොඳයි. ආ තාත්තෙ. ඉඳගන්ඩ මහන්සිද? මම තාත්තා පරක්කු වෙයි කියලා හිතලා එක පාර්සලයයි ගත්තෙ. ඉන්ඩ මම තව එකක් අරං එන්නං. අයියෙ තව එකක් ඕනෙ. අයියා නැත්ද? අම්මෙ අනිත් එකා කාලකන්නියෙක්. ඌ කියනවා ඌ හබල් ගාන් නෑලු. කුනු බක්කියෙන් අහුලං කාපන්ලු. ටිකක් කලවම් වෙලා වගේ තියෙය්. ඒත් ගොඩක් හොඳයි. මම පොඩිදවස් වල කෑවෙම ඒවා. වෙලාවකට බුරියානි කාලම එපා වෙනවා. තාත්තෙ කන්ඩ. මෙහෙම අපේ පවුලෙ අය එකතු වෙන එක හොඳයි නේද අම්මෙ.

අනාගතේ? ලෝකෙ මින්සසුන්ට බය ජාති දෙකක් තියෙනවලු. එක පරිසර බය, ඒක සත්තුන්ටත් තියෙනවලු. අනික් එක අනාගත බය. ඒක මිනිස්සුන්ට විතරයි තියෙන්නෙ. ඒක නැත්තං මිනිස්සු මාර කම්මැලි වෙලා නිකංම ඉන්න උන් වෙනවා.

ඔව් අම්මෙ මං හිතලා තියෙන්නෙ රට යන්ඩ. මං වගේ කී දෙනෙක් රට ගියාද?

කසාදයක්? සල්ලි තියෙනවනං කුරුඳුවත්තෙන් හරි කසාදයක් බඳින්න පුළුවන්.

තටු? තටු තියාගෙන ජීවත් වෙන එක හරි අමාරුයි. යන හැම තැනකම තටු වදිනවා. මිනිස්සු කෑ ගහනවා. හිඟාකන්ඩ බැරි හිඟන්නො අපි අතර කොච්චර ඉන්නවද? මමත් ඒ වගේ තමයි.

පල්ලියක්. ? පල්ලියක් ළඟින් ආසාවකටවත් යන්ඩ බෑ. පිළිම අස්සෙ එල්ලන්ඩමයි හදන්නෙ.

ඒ කාලෙ වගේ නෙමෙයි ජීවත් වෙන එක හරි අමාරුයි අම්මෙ. අද කාලේ Job තුනයි තියෙන්නෙ. Politics, Cricket, නැත්තං රට යන්ඩ ඕනෙ. මුල් දෙක කරන්ඩ කොහොමත් අමාරුයි අම්මෙ. බිස්නස් එකක් කරන්ඩ? MC එකේ කරන්ඩ බෑනෙ Pavement එකේ තමයි කරන්ඩ වෙන්නෙ. ඒත් කී දෙනෙක්ට කප්පං ගෙවන්ඩ ඕනෙද? බිං කුළිය අරවා මේවා බැලුවම රට යන එක හොඳයි. කන්ඩත් හම්බවෙනවනෙ. රිදෙන්නෙත් නෑනෙ.

අම්මයි තාත්තයි දාලා රට යන එක දුකයි තමයි. අවුරුදු 4කින් එනවා අම්මෙ. මෙතනට වෙලාම ඉන්ඩ කවුරුත් මුකුත් කියන එකක් නෑ. කොහොමද රට යන සල්ලි හොයාගන්නෙ?

මම තටු දෙක විකුනනවා. ලොකු ගානකට මේ දෙක විකුනන්ඩ පුළුවන්. ඉගිල්ලෙන්ඩ කැමති මිනිස්සු හැම තැනම උන්ට මේක වටිනවා.

උඹට මරන තර්ජන නැත්ද? කොහොමත් මරණය තර්ජනයක් නෙමෙයි. ජීවත් වෙන එක තමයි තර්ජනය. තටු තියෙන කෙනෙක් මැරුවා කියලා පත්තරේක, Breaking news වලින් එහෙම අහලා තියෙනවද?

කොහොමද උඹ තටු Marketing කරන්නෙ. මේ wedding hall එක ඉස්සරහින් ලක්ෂ ගානක් මිනිස්සු යනවා දවසකට. මම  Board එකක් බෙල්ලෙ එල්ලගෙන ඉන්නවා. ඒක හම්බ වුනේ නැත්තං ?

තාත්තා කියන්නෙ ඕන දේකට ලැබෙන Reaction කොලේක ලියාගන්නද?

Rape කරා. තොට හෙනගහනවා තාත්තෙ.තාත්තෙ යන්ඩ එපා Sorry මම හිතලා නෙමෙයි කිව්වෙ. තාත්තා අවුරුදු කීයකට පස්සෙද ගෙදර ආවෙ. තාත්තා අයිමත් එන්නෑ කියලා මම දන්නවා. තාත්තෙ……. තාත්තෙ……..

අම්මෙ…………..තාත්තා…………………අම්මෙ…………..අම්මෙ…………

හැම තැනම කළුවරයි. ඒත් කළුවර හරිම ධනාත්මකයි.

නෝනාවරුනි මහත්වරුනි. ලැජ්ජ වෙන්ඩ එපා මං Offer එකක් දෙන්ඩ. එක්දහස් එක් රැයක් මම මෙතන ඉඳලා තියෙනවා.

පනස් දහසක් වත් අඩුම ගානෙ. ඔය කොටම කොට මහත්තතයා කියන්ඩ කීයද? විසිදාහයි. හරි මම කැමතියි.

අපි හැමෝම උපතින් දේවදූතයො උනත් ජීවත් වෙන්ඩ ඕනෙ නං තටු ගලවන්නම වෙනවා.

තරුණයා දෙපසින් පිරිසක් පැමිණ තටු කඹවල ගැට ගසයි. තටු දෙපසට අදිනු පෙනේ. තරුණයා වේදිකාවේ කෑ ගසයි. ගිලිහී දෙපසට ඇදී යයි. වේදිකාව අඳුරු වෙයි.

 

2 වන ජවනිකාව

සංගීත වාදනයක් මන්දගාමීව ඇසෙයි. තරුණයා Clapper බෝඩයක් අතැතිව සිටිනු දිස්වෙයි. වේදිකාව මත පුටුවක් හා මේසයක් තබා ඇත.

තරුණයා :- ස්ථානය Passport කන්තෝරුව. වෙලාව පස්වරු 2.30. Scene two take one

තරුණයා :- බෑ මල්ලි උප්පැන්න සහතිකයක් නැතුව බෑ. වෙන ක්‍රමයක් නෑ මල්ලි. මුකුත් කරන්න බෑ මල්ලි. පව් නොදී ගන්ඩ මල්ලි. ආ තිකල් මහත්තයා check එක පාස් වුනාද?

තරුණයා :- මල්ලි බොරුවට සල්ලි වියදං කරාට ඕක කරන්ඩ බෑ. ඉස්සෙල්ල උප්පැන්න සහතිකයක් ගන්ඩ try කරන්ඩ. පනින්ඩ මල්ලි….ලේසියි………

තරුණයා :- මොකද ඔයාට උප්පැන්නයක් නැද්ද? ඇයි ආ ඇයි ඒ? පේන විදියට නම් හොඳට ඉපදිලා තියෙනවා. තරුණ වෙලා ඉන්ඩ ආස නැද්ද? අම්මා, තාත්තා දාලා ගිහිල්ලද ආ..පව්. ඇයි දුක බෙදාගන්නැත්තේ. ආ..පව්..කාටත් බැරි ඒවා අපි කරනවා. Experience අහන් නෑ ලමයෝ. පිස්සු උඩම තට්ටුවෙ AC.

තරුණයා :- පව්……………………………………………………………………………………………

 

3 වන ජවනිකාව

වේදිකාව පුරා බැරල් කිහිපයක් තබා ඇත. සංගීත වාදනයක් හා මුහුදු රළ නැගෙන හඬ ඇසේ. වේදිකාව ආලෝකමත් වේ.

තරුණයා :- කවුද ඉන්නෙ? අපි කොහෙද ඉන්නෙ? ඇතුලෙ හුස්ම ගන්ඩ අමාරුයි ඒකයි එළීයට ආවෙ. මොකක්ද යන රට? ප්‍රංශෙ? ඇයි ප්‍රංශෙට?

වෙනත් බැරලයකින් කොන්ඩම් පාර්සලයක් ඇති අතක් එළියට එයි.

තරුණයා :- …………නියමයි. මමත් බලලා තියෙනවා. ඔයාට ඇමරිකාවට යන්ඩ තිබ්බෙ. මෙහෙ ඉදලා පස්සෙ යන්ඩ බලන්ඩ. ඉතාලි යනවා. මමත් ප්‍රංශෙට ගිහිල්ලා ඉතාලි යන්ඩ ආසයි. Passport එක හදාගත්තද? Passport එකක් ගන්න එක සෑහෙන රිදෙන වැඩක් නෙ. ඔයා ප්‍රංශෙට ගිය ගමන් මට වයින් එකක් එවන්ඩ. හරි හරි මම Address එක දෙන්නං කො.

ගම කොහේද? රත්නපුරේ. අදමද මුහුදක් දැක්කෙ.?

මම නං අනන්තවත් Gallface එකේ ඉඳලා තියෙනවා. මොනවද කරේ? බිස්නස් . ආ විට..විට බිස්නස්. මැණික් බිස්නස්ද කරේ? ආ බේකරියක්ද? මොනවද වැඩියෙන්ම හැදුවෙ? මාළු පාන්ද? නියමයි. අම්මයි තාත්තයි දන්නවද රට යනවා කියලා. හරි හරි අම්ම තාත්ත මැරිලා. බැඳලද? ලමයි දෙන්නෙක් ඉන්නවා. නෑ මම බැඳලා නෑ. නෑ නෑ මම Gay නෙමෙයි. Wife දන්නවද? pizza එකේ වැඩ කරනවා කියලද ආවෙ. ඉතිං කොළඹ ආවනං pizza එකේ වැඩකරන්න තිබ්බනෙ. හරි නෑ. ඔවු කොළඹ බඩු කොහොමත් original නෑ තමයි. ඔයාට ඉතාලි යන්ඩ තිබ්බා. එහෙ තමයි pizza වලට ප්‍රසිද්ධ.

වමනෙ යන්ඩ එනවනං එළීයට දාන්ඩ එපා බැරල් එක ඇතුලටම දා ගන්ඩ. Broker කිව්වෙ උන් ඒකට කැමති නෑ කියලා. ගඳයි තමයි. ටිකක් ගඳ ඉවසුවා කියලා ප්‍රශ්නයක් වෙන් නෑනේ. අනිත් එක ලංකාවෙ හැම තැනම සුවඳද?

මුලින්ම ගියාම කරන්නෙ සුද්දියන්ට කියනවා මම ආසයි ඔයාව කර උඩ තියාගෙන උප්පු ගෙනියන්ඩ කියලා. ලුනු ලුනු ලාබයි ලුනු. කැමතිවෙයිද? අපේ හමේ කරවෙච්ච සුවඳට උන් ආසයිලු.

ඇයි බැදපු මස්නෙ රහ. අපෙන් වහල්ලු වගේ වැඩගනියි. ඇයි අපි ලංකාවෙ ඉන්නෙ වහල්ලු වගේ නෙමෙයිද? අපි බත් පාර්සලයක් දෙනවනං ඕන දෙයක් කරනවනෙ. රුපියල් පාලොස් දාහකින් ලංකාවෙ මොන සැපද ගන්න පුළුවන්.

අකුණු ගසන හඬවල් හා සුළි සුළඟක හඬ ඇසේ. බැරල් සියල්ල පෙරළී යන අතර කෑගැසීම්ද අතරින් පතර ඇසෙයි.

තරුණයා :- කවුරුත් නැද්ද?

දවස් ගානක් පීනලා පීනලා මව්තුමිය කුමාරයා ගොඩට ගෙනාවා. අම්ම කෙනෙක් පිට උඩ හිටපු නිසා තමයි කුමාරයා එගොඩට ගියේ. රත්නපුරෙන් ආපු ප්‍රංශකාරයො උඹ කොහෙඳ මචං. හරිම සීතලයි. අම්මෙ මම කුමාරයෙක්. බොරු නොමෙයි කියන්නෙ. එන්ඩ මගේ පිට උඩට මම අම්මව දවස් හතක් කර උඩ තියාගෙන ගෙනියලා ඒක ඔප්පු කරනවා. කාටද? ඔවු ඒක ඇත්ත කාටද? කවුරුත් නැද්ද? කවුරුත් නැද්ද? ……………..කවුරුත් නැද්ද?………………කවුරුත් නැද්ද?

තරුණයා උඩුබැලි අතට බැරලය මතට වැටෙයි. සංගීත වාදනයක් ඇසෙයි. කට හඬවල් කිහිපයක් ඇසෙයි.

 

 

 

4 වන ජවනිකාව

(තරුණයා සිහිමඳ ගතියෙන් යුක්තව පුටුවක හිඳ ගෙන සිටී. දොරක් ඇරෙන හඬක් ඇසේ.)

තරුණයා :- උඹ කලිනුත් ඕක කිව්වා. මුහුද අයිනෙ ඉඳලා තමුසෙ මට help එක්ක දෙන්නෙ. දීපං යකෝ මගේ passport එක. පරයා. ඕක නැතිව මම කවුරුවත් නෙමෙයි. ඕක දීපං. අම්මේ. Ok උඹ අපෙන් ජීව්ත වෙනවා කිව්වනේ. කරපං

හෙලයෝ හෙලයෝ පරයා.

හෙලයෝ පරයා.

(වේදිකාව අඳුරු වී යයි. තරුණයාට පහර දෙන හඬවල් ඇසේ. තරුණයා මහ හඬින් සිනහ සෙනු ඇසෙයි.)

තරුණයා :- Good morning madam

මට කොච්චරක් ගෙවනවද මැඩම්. ගාමිනි කියන්ඩ එපා කිව්වා. ඉතිං මමනෙ වැඩ කරන්නෙ.get out.

Thank you මට කොහෙද යන්ඩ තියෙන්නෙ.

තරුණයා නිශ්ශබ්ධව බලාගෙනසිටී.

තරුණයා :- නාකි පරසුද්දි. No No I didn’t say anything.

මම මගේ ජාතික ගීය කිව්වා.

ඒක වැරැද්දක්ද?

නෑ මට ඉතාලි භාෂාව බෑ. කොහොමද මම උඹලගේ ජාතික ගී්‍ය කියන්නෙ. මට උඹත් එක්ක වාද කරන්ඩ ඕනෙ නෑ. මම මොනවද කරන්ඩ ඕනෙ.

මට මොනවද ඕනෙ. මෙතනින් පැනලා ගන්ඩ ඕනෙ. ඌ මගේ passport එක හිර කරගෙන ඉන්නෙ. Humpry bogart? කවුද ඒ. උඹ ආසම නළුවා. හරි හරි මම උඹට ඔයා කියලා කතා කරන්නං. මම ඌ වගේ රඟපාන්ඩ ඕනෙ. මම ඇයි? ඒක ඔයාගෙ Fantacy එක වෙන්ඩැති. ඒත් මට බෑ mum මට බෑ. හරි හරි උඹ ඔය මොකද කරන්නෙ මගේ ඉස්සරහ දැනගන්ඩ ඕනෙ නෑ. මම කරන්නං මම කරන්නං. උඹ අඬන්න ඕනෙ නෑ. මම ඒක කරන්නං. නැගිටින්ඩ mum Get up mum’’’’’’’’’’’’.

Casablance චිත්‍රපටියේ සංගීත ඛන්ඩයක් ඇසේ. තරුණයා එම චිත්‍රපටියේ දෙබස් කියනු නොපැහැදිලිව ඇසෙයි.

තරුණයා :- මට තේරෙන් නෑ ඇයි මිනිහා ආදරේ කරන කෙල්ලට යන්ඩ අරින්නේ කියලා. ආදරේ එහෙම තමයි මට කවදාවත් ආදරේ කරන්ඩ හම්බ වෙලා නෑ. නෑ මට හිටපු ගමන් ලොකු ඔලුවෙ කැක්කුමක් එනවා ඒත් ටික වෙලාවකින් හරි යනවා.

වේදිකාව එක්වරම Night club එකක් ලෙස ආලෝකමත් වෙයි. වේදිකාව පුරා තරුණ තරුණියන් වේග රිද්ම සංගීතයකට නටනු පෙනේ.

තරුණයා :- Hi. ඔයා කොහෙන්ද? මොරොක්කෝ. නෑ මම මුස්ලිම් නෙමෙයි. ආගම ආදරය කරන්ඩ ප්‍රශ්ණයක් නෙමෙයි නේ. උඹට ඇමරිකා යන්ඩ සල්ලි හොයාගන්ඩද මෙහෙට ආවෙ. Thank you.

තරුණයා බොමින් නටමින් සිටී. තරුණ තරුණියන් ඔහු වටා රොක් වෙමින් නටමින් සිටී.

තරුණයා :- මේ නටන්නෙ මම නෙමෙයි මගේ ආතතිය. මගේ අහිංසක මම. මට දෙවියො කතා කරනවා. මගේ අම්මා madona. මගේ තාත්තා මයිකල් ජැක්සන්. ඇයි උඹලා හිනාවෙන්නෙ. පර හැත්ත.

එකෙක්වත් මගේ ළඟට එන්න එපා. නෑ ඌ මලේ නෑ. දෙවියන් කාගෙද? මොරොක්කෝ කෙල්ල නැගිටපං. කවුද මේ කෙල්ලව මැරුවෙ කවුද? මම කොහෙද මේ දුවන්නෙ. අම්මා බයවෙන්ඩ එපා. අම්මෙ මම අම්මට කවදාවත් ගිලෙන්ඩ දෙන් නෑ.

තරුණයා නොදන්නා භාෂාවකින් ස්තෝත්‍ර ගායනා කරයි.

තරුණයා :- මේ මැණික් ගල්. මේ මුහුද බාරගෙන ලංකාවට ගෙනියනවා ඇති. මගේ එක සිහිනයක් සැබෑ වුනා. එකෙක් වත් ලං වෙන්ඩ එපා. මට ඔය injection එක ගහන්ඩ එපා. මගේ පිට උඩ ඉන්න අම්මාව ගිලෙයි. Pls pls ආ………….ආ……….

වේදිකාව අඳුරු වී ශෝකී සංගීත රාවයක් එයි.

 

 

 

5 වන ජවනිකාව

තරුණයා :- හිර ගෙයක් වගේ පිස්සෙන් කොටුවකින් එළියට ආවා. එළීයට එද්දි madam ගෙන් check එකක්. God bless you madam mozel. Your soul will be rest in peace. මම ලංකාවට ඇවිල්ලා අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්ව සල්ලි දීලා ගත්තා. මම කෝටිපතියෙක්. මගේ නමින් බස් හැමතැනම දුවනවා.

හතර අතින් කුඩා සෙල්ලම් බස්රථ වේදිකාව මැදට එයි.

පසුබිම් හඬ :- සර්. අපි දැන් යන්ඩ ඕනෙ. තරුණයා බෙල්ලෙ බැඳි කඹය ලෙහෙසියෙන් ගලවා විසිකරයි. ප්‍රේක්ෂකාගාරය කන්නාඩියක් මෙන් ගෙන ඔහු ඔහුගේ පෙනුම සකස්කර ගනී. උඩින් තිබෙන ඇඳුම් ගලවා දමයි. ඇතුලත ජාතික ඇඳුමක් ඇත.

තරුණයා :- මම හෙටත් එනවා මාව හම්බවෙන්ඩ. බලපං මං නිසා තරුත් අඬනවා. ෂ්..! ෂ්…! ෂ්…!

තරුණයා හිනහ වෙමින් වේදිකාවෙන් පිටවී යයි. වේදිකාව අඳුරු වෙයි.

 

සමිල විදානගේ

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )